මොකක්ද මේ AI තාක්ශණය?

  • ව්‍යාපාර නායකයන් කතා කරන…තරුණ පරපුර උනන්දු වන…අනාගත දියුණුවේ මූලිකම මෙවලම කියන…මොකක්ද මේ AI තාක්ශණය?

නැතහොත් AI යන්න අද නිතර අසන්නට ලැබෙයි. මෙය පසුගිය දවස්වල වැඩිවැඩියෙන් කතා බහට ලක්වන්නට පසුබිම් වූයේ මෙරට ප්‍රසිද්ධ ව්‍යාපාර නායකයකුද මේ ගැන පුළුල් කතාබහක් ආරම්භ කළ නිසාය. අද AI ලෙසින් ප්‍රචලිත ව ඇති එම සංකල්පය ගැන ශ්‍රී ලංකාව තුළ මුලින්ම හා හූවක් ඇති වන්නේ මීට වසර 20කට පමණ ඉහත දීය. ඒ AI ගැන හඬ අවදි කළ විද්වතුන් කිහිප දෙනකු නිසාය. මේ විද්වතුන් අතර ප්‍රමුඛ පෙළේ චරිතයක් වූයේ ආචාර්ය අශෝක එස්. කරුණානන්දය. එවකට විවෘත විශ්ව විද්‍යාලයයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස සිටි ඔහු අද මොරටුව විශ්වවිද්‍යාලයයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකි. මේ දිනවල ඇති වන කතබහ නිසාම සිළුමිණ කළ ආරාධනයකට අනුව මහාචාර්ය අශෝක එස්.කරුණානන්ද මේ විශේෂාංගය රචනා කළේය.

ශ්‍රී ලංකාවේ ව්‍යාපාර නායකයන් ඇතුළු බොහෝ දෙනෙක් අද AI ගැන කතා කරති. ඔවුන් බොහෝමයක් කතා කරන්නේ තම තමන්ගේ ව්‍යාපාර කාර්යක්ෂම කිරීමට ලෝකයට ආ අලුත්ම ප්‍රවණතාව AI බවය. සැබැවින්ම එයින් කෙරෙන්නේ මිනිසුන් හා සතුන්ගේ ස්වාභාවික බුද්ධිය පිළිබඳ ආකෘති පරිගණක ගත කර ඒ අනුසාරයෙන් අපට විවිධ වැඩ කරවාගත හැකි බුද්ධිමත් යන්ත්‍ර නිපදවීමය. එය Artificial Intelligence කෘත්‍රිම බුද්ධිය ලෙස කලක පටන් හැඳින්වුවද එය නිවැරදි නැත.

විෂයෙහි ස්වභාවය අනුව Artificial Intelligence යන්න බුද්ධිමය යාන්ත්‍ර විද්‍යාව ලෙස සිංහලට පරිවර්තනය විය යුතුය. නූතනයේ කාර්මික විප්ලවයට බලය සපයන හතර වන ඉන්ධනය ලෙස AI සලකනු ලැබේ. මොළයට නොදෙවෙනි තාර්කිකව හිතන්න පුළුවන්කම සහ පුහුණු කිරීමේ හැකියාව සහිත යන්ත්‍ර බුද්ධිමය යාන්ත්‍ර විද්‍යාව් ස්වභාවය සරල ලෙස තේරුම් ගැනීමට ඇති හොඳම ක්‍රමය නම් මිනිස් මොළයේ මූලික ව්‍යුහය විමසා බැලීමයි. මිනිස් මොළය පිළිබඳ බුද්ධිමය හැකියා ප්‍රධාන වශයෙන් මොළයේ වම් සහ දකුණු කොටස්වලට අයත් රාජකාරී බවට පත් වෙයි. ඒ අනුව තාර්කික චින්තනයට බලපාන්නේ වමයි. පුහුණු කරවීම දකුණට බලපායි. මෙහිදී කරන්නේ එම බුද්ධිමයට අදාළ ආකෘති පදනම් කරගනිමින් පරිගණක පද්ධති නිර්මාණය කිරීමය.

AI තාක්ෂණය මගින් සෛද්ධාන්තික වූ ගණිතමය, විද්‍යාත්මක ගැටලු විසඳීම මෙන්ම පුහුණු කිරීම් ආශ්‍රිත සංගීතය, පිහිනීම, රිය පැදවීම වැනි හැකියා පිළිබද බුද්ධිමය යන්ත්‍ර තැනීමට පුළුවන. මිනිසාට තාර්තික චින්තනය සේම පුහුණු කිරීමේ හැකියාවද පැවතුණද සතුන් අතර සාමාන්‍යයෙන් පවතින්නේ පුහුණු කිරීම සම්බන්ධ බුද්ධියයි. එහෙත් සාම්ප්‍රදායික පරිගණක තාක්ෂණ මඟින් සිද්ධාන්තමය දැනුම පමණක් යන්ත්‍ර ගත කළ හැකි බව කිව යුතුය.

එහෙත් AI හසුරුවා ගැනීමේදී යම් යම් සිද්ධාන්තද පදනම් වේ. එසේම දත්තද පදනම් වෙයි. නිදසුනක් ලෙස සඳ වෙත රොකට්ටුවක් යැවීම සිද්ධාන්ත මත සිදු කළ යුතු දෙයකි. එහෙත් කොටස් වෙළෙඳපොළ හෙට දවස ගැන අපට තිරණය කළ හැක්කේ පසුගිය දත්ත විශ්ලේෂණයෙනි. මේ ආකාරයටම කෘත්‍රිම බුද්ධියද ද පදය සෛද්ධාන්තික පදනමක් සහිතව විශාරදයන් විසින් ගැටලු විසඳීම හා භාෂා හැසිරවීම හා තේරම්ගැනීම වැනි තාක්ෂණයන් තුළ භාවිත කළ හැකිය. මේ අතර, සිද්ධාන්තයක් නැති එහෙත් විශාල වශයෙන් දත්ත ඇති කොටස් වෙළඳ‌පොළ, කාලගුණය, සමාජ ජාලා දත්ත විශ්ලේෂණය වැනි අවස්ථා සඳහා යොදනු ලබන AI තාක්ෂණයන් ඇත.

සෛද්ධාන්තික පසුබිම නිසා AI තාක්ෂණයන්වලට විසඳුම මෙන්ම විසඳුමට හේතු සැපයීම ද කළ හැකිය. එය සිදු වන්නේ මෙසේ යයි පැහැදලි කිරීමද කළ හැකිය. එහෙත් මේ අතර දත්ත පුහුණු කිරීම පමණක් සිදු කරන AI තාක්ෂණයන් මඟින් ලබා දෙන විසඳුම් පැහැදිලි කළ නොහැකි බව අවධාරණය කළ යුතුය.

ගණිතය, විද්‍යාව, නැටුම්, ගැයුම් වැනි බොහෝ විෂයයන් චින්තනමය හෝ පුහුණුව යන දෙකින් එකක් පිළිබඳ බුද්ධියට අනුබල දෙයි. එහෙත්, මෙම ආකාර දෙකම නියෝජනය වන ආකාර‍යෙහි බුද්ධිමය යන්ත්‍ර තැනීමට AI වලට පුළුවන. AI වලට අන් තාක්ෂණවලට විසඳිය නොහැකි ගැටලු පවා විසඳිය හැකි යැයි පවසන්නේ ඒ නිසාය. අපට ගැටලුවක් විසඳීම සඳහා දත්ත නැති නම් සිද්ධාන්ත තිබිය යුතු වේ.

බුද්ධිමය යන්ත්‍ර නිර්මාණය කිරීම පිළිබඳ AI සම්බන්ධ මතවාද සතරක් ඇත. මින් පළමු වන මතවාදයට අනුව AIවල අරමුණ මිනිසුන් සේ ක්‍රියා කරන යන්ත්‍ර සෑදීමය. බොහෝ දෙනෙකු AI තේරුම් ගෙන ඇත්තේද මේ ආකාරයටය. එහි වරදක් නැත. මිනිසුන් සේ ක්‍රියා කරන යන්‍ත්‍ර සඳහා හොඳ උදාහරණයක් ලෙස IBM Watson දැක්විය හැකිය.

මිනිසුන් සේ සිතන යන්ත්‍ර තැනීම AI පිළිබඳ දෙවන මතවාදයයි. සීතීමට මුල් තැන දෙන කාර්යයන් වන චෙස් වැනි ක්‍රිඩා, ප්‍රශ්න විසඳීම, විවිධ සැලසුම් කිරීම වැනි කටයුතු පිළිබඳ බුද්ධිමය යන්ත්‍ර දැනටමත් නිර්මාණය කර තිබේ. Deep Blue නැමැති AI චෙස් ක්‍රීඩා මෘදුකාංගය මීට වසර කිහිපයකට පෙර, එකල ලෝක චෙස් ශූරයා වූ ගැරී කැස්පරෝ පරාජය කළේය.

තර්කානුකූලව සිතිය හැකි යන්ත්‍ර තැනීම AI පිළිබඳ තෙවන මත වාදයයි. එය මිනිසුන් සේ සිතන හැකියාව ට එහා ගිය එකකි. අප විසින් සිදු කරන භාෂා හැසිරවීම, උපදෙස් ලබාදීම, විවිධ ගැටලු (නීති, ගණිත, විද්‍යා) විසඳීම සඳහා අපි තර්කය භාවිත කරමු. බොහෝ Cognitive Systems (CS) තුන් වන මතවාදය යටතට ගැනෙයි.

AI පිළිබඳ සතර වන මතවාදය වන්නේ හරි දේ කරන යන්ත්‍ර තැනීමය. මෙහි හරි දේ යන පදයට සම අරුත් ඇති පද ලෙස වඩා ප්‍රායෝගික, ගුණාත්මක, ස්ථානෝචිත වැනි දේ දැක්විය හැකිය. හරි දේ කළ හැකි බව බුද්ධිය පිළිබඳ අපූරු අදහසකි. ඔබ නිවසේ ඇති රෝබෝ කෙනෙකුට කිරි තේ එකක් සාදා දෙන සේ ඔබ පැවසුවේ යැයි සිතන්න. මෙම රොබෝ පියවරෙන් පියවර කිරි තේ ඒක සාදන විට නිවසේ සීනි නැති බව පෙනිණි. ඉතින් තර්කානුකූලව බැලුවහොත් සීනි නැති නිසා රොබෝගේ කිරි තේ සෑදීම නතර වේ. තවද රොබෝ ඔබ වෙතද නොපැමිණෙයි. එහෙත් රෝබෝ අවස්ථාවට අනුව හරි දේ කරමින් චොකලට් පෙත්තක් සමඟ කිරි තේ එක ගෙන ආවේ නම් රෝබෝ බුද්ධිමත් යැයි අප පැවසනු ඇත.

මේ අනුව බුද්ධිය යනු හරි දේ කිරීම විනා තර්කානුකූල වීම හෝ මිනිසුන් ලෙස ක්‍රියා කිරීම නොවන බව අවධාරණය කළ යුතුය. මේ වන විට AI පිළිබඳ පර්යේෂණ කරන පර්යේෂකයන් උත්සාහ කරන්නේ මේ ආකාරයට තැනට සුදුසු ලෙස නිවැරදිව ක්‍රියා කරන බුද්ධිමය යන්ත්‍ර නිපදවීම කෙරෙහිය.

AI වල යෙදීම්

AI මඟින් විසඳිය හැක්කේ කුමන ගැටලුද යන්න සැමට කුතුහලය දනවන කාරණයකි. සෑම ගැටලුවකටම කුමන හෝ ආකාරයෙහි විසැඳුමක් මිනිසාට දිය හැකිය. එලෙසින්ම අන් ක්‍රමයකට විසැඳුමක් ලබාගත නොහැකි අවස්ථාවලදී පවා AIවලට ගැටලුවක් සඳහා විසඳුමක් දිය හැකිය. සංඛාන විද්‍යාත්මක හෝ ගණිතමය ආකාරයට හැසිරවිය නොහැකි සමාජ ජාල දත්ත ආදිය විශ්ලේෂණය කර සැඟවුණු ප්‍රවණතා අනාවරණය කිරීම අදටත් සිදු කරයි.

සැලකිලිමත් වන්න

එසේම යමක් පිළිබඳව පුරෝකථනය කිරීමටද , AI තාක්ෂණයන්ට පුළුවන. කාලගුණික, ව්‍යාපාරික, කෘෂිකාර්මික, වෛද්‍ය වාර්තා, අක්ෂර, අස්සන්, පින්තූර හා සම්බන්ධ දත්ත විශ්ලේෂණය කිරීම පිණිස මෙම තාක්ෂණය යොදා ගත හැකිය. දත්ත මඟින් පරිණාමය වන ප්‍රවණතා මතු කර දීම සඳහා ද……… තාක්ෂණයන්ට විශේෂ හැකියාවක් ඇත.

මේ අතර තර්කානුකූලව හැසිරවිය හැකි ආකාරයට ලිවිය හැකි දැනුම් පද්ධති සඳහා AI වල එන cognitive systems(CS) විසඳුම් දිය හැකිය. උදාහරණ ලෙස රෝග නිර්ණය කිරීම, උපදේශන සේවා , චෙස් ආදි ක්‍රිඩා, නිවාස මං මාවත් ආදිය සැලසුම් කිරීම, රථවාහන වැනි විවිධ උපකරණ සැලසුම් කිරීම, සේවා වැඩමුර සකස් කිරීම, භාෂා හඳුනාගැනීම හා හැසිරවීම මෙන්ම පරිවර්තනය වැනි කටයුතු සඳහා CSවලට විසඳුම් දිය හැකිය. සාමාන්‍යයෙන් CS විසඳුමකට පිළිතුරු කිහිපයක් තිබිය හැකි අතර ඒඒ පිළිතුර කෙසේ ලැබුණේද යන්න හා එම පිළිතුවල වලංගු මට්ටම පැවසීමටද පුළුවන. ප්‍රධාන AI තාක්ෂණ වල සිද්ධාන්ත හා ඒවායේ යෙදීම් විස්තර කරන සරල සිංහල බසින් ලිය වුණු බුද්ධිමය යාන්ත්‍ර විද්‍යාව නැමති කෘතිය මා විසින් වසර කිහිපයකට පෙර එළි දක්වන ලදී. AI පිළිබඳ උනන්දුවක් ඇති පාඨකයන්ට එම කෘතිය කියවීමට මම යෝජනා කරමි.

AI සමාජය තුළ ප්‍රචලිත වන විටදී අප විසින් සැලකිල්ලට ගත යතු කරුණු කිහිපයක් ඇත. AI වල අගය පිළිබඳ වටහාගත් සමහරු හරි හැටි විෂය කරුණු නොදැන AI මෙවලම් කට්ටල (toolkit) භාවිත කර ගැටලුවලට විසඳුම් සෙවීම ඉන් එකකි. මෙය සැබැවින්ම අනතුරුදායකය.

අනතුර මෙසේ තේරුම් ගන්න. සෑම තාක්ෂණයක් හා සම්බන්ධව ම බලය හා පාලනය වශයෙන් අංග දෙකක් තිබේ. විදුලිය, මෝටර් රථ ඇන්ජිම, න්‍යෂ්ටික ශක්තිය හා සම්බන්ධ බලය ඒ ඒ තාක්ෂණය සතු වන අතර එය පාලනය කිරීම මිනිසාගේ වගකීමකි. එහෙත් AI ඊට වඩා වෙනස්ය. එහි බලයත් පාලනයත් යන දෙකම සිදු කිරීමට AI තාක්ෂණයට හැකිය. එයින් වක්‍රව කියන්නේ මිනිසාටද එය පාලනය කළ නොහැකි මට්ටමක් පවතින බවය. සමහර කාර්යයවලදී මිනිසා ප්‍රතිස්ථාපනය කිරීමට තරම් AI ප්‍රබල වන්නේ ද බලය හා පාලනය එක්ව පවතින නිසාය. මේ නිසා නොදැන AI භාවිත කිරීම අනතුරුදායකය. AI පිළිබඳ නිවැරැදි මානසික සැකසුමක් නැති අය විසින් AI මෙවලම් භාවිත කිරීම මෘදුකාංග සමගම් විසින් පවා විවේචනයට ලක් කර තිබේ.

සමහරු පවසන්නේ අනාගතයේදී AI නිසා මිනිසාගේ මතක ශක්තිය හා චින්තන ශක්තිය හීන වී යා හැකි බවය. ඒ නිසා මේ සම්බන්ධ නිසි දැනුමක් ඇත වෘත්තිකයන් බිහි කළ යුතුය.

AI වෘත්තිකයෙකුට අවශ්‍ය නම් අපගේ මතක ශක්තිය හා චින්තන ශක්තිය වර්ධන කිරීම පිණිස එයින් විසඳම් ලබාදිය හැකිය. දැනටමත් EEG තාක්ෂණය ඔස්සේ එවැනි පර්යේෂණ සිදු කරමින් පවතියි.

AI

මිනිස් මොළයක් යෙදූ රොබෝ කෙනෙකු පිළිබඳ විද්‍යා ප්‍රබන්ධයක් ලෙස ටර්මිනේටර් චිත්‍රපටය අප විසින් නැරඹුවේ මීට වසර 20කට පෙරදීය. සජීවී මස්තික සෛල භාවිතා කරමින් ක්‍රියා කරන රෝබෝවරුන් දැන් පරීක්ෂණ මට්ටමේ පවතී. මීයකුගේ මොළයෙන් කොටසක් භාවිතා කර ක්‍රියාත්මක වන රොබෝ කෙනෙකු එංගලන්තයේ රෙඩින් විශ්වවිද්‍යාලයෙහි නිපදවා තිබේ.

AI දියුණුවත් සමඟ මිනිසා හා යන්ත්‍ර අතර පවතින පරතරය ශීඝ්‍රයෙන් අඩු වෙමින් පවතී. අනාගතයේදී යන්ත්‍ර මිනිසාට බොහෝ සමීප වනු ඇත. මිනිසා හා යන්ත්‍ර අතර සහ-පැවැත්මක් (co-existence) අපේක්ෂා කරනනේ ඒ නිසාය.

ශ්‍රී ලාංකික අප තරමක් ධනාත්මකව හා සුබවාදීව මෙවැනි දේ ගැනබැලිය යුතුය. අයහපතක් උදාවනුයේ නොදැනුවත් කම නිසා ය .

සෑම දියුණු රටක් විසින්ම ඉදිරි වසර 10ක පමණ කාල පරිච්ඡේදයක් සඳහා AI යොදාගන්නා ආකරය පිළිබඳ ජාතික සැලසුම් ඉදිරිපත් කර තිබේ. චීනය 2030 වන විට ලොව ප්‍රබලතම ජාතිය වීමේ අපේක්ෂාවෙන් AI ප්‍රවර්ධනය කිරීමට විශාල මුදලක් වෙන් කර තිබේ. AI වලින් ප්‍රබලයා වන කවුරුන් හෝ මතු ලෝකය පාලනය කරන බව රුසියානු ජනාධිපති පුටින් පවසා තිබේ.

ජාතික සංවර්ධනය සඳහා AI යොදාගන්නා ආකාරය පිළිබඳ ජාතික සැලසුමක් තවම ශ්‍රී ලංකාව එළි දක්වා නැත. අපට විශාල විදේශ විනිමයක් ලබා දෙන මෘදුකාංග සම්පාදනය පිළිබඳ කර්මාන්ත ක්ෂෙත්‍රයයෙහි මීළඟ පියවර විය යුත්තේ වහ වහා AI මෘදුකාංග සම්පාදනය කිරීමයි. පසුගිය දිනක මා විසින් සිදු කරන ලද සමීක්ෂණයකට අනුව දැනටමත් ශ්‍රී ලාංකික මෘදුකාංග සමාගම් 70 ක් පමණ AI ව්‍යාපෘති ආරම්භ කර තිබේ. එසේ නොවන සමාගම් පවසන්නේ අවශ්‍ය තරම් AI මානව සම්පත රට තුළ බිහි වන තුරු ඔවුනට AI ව්‍යාපෘති සදහා ආයෝජනයන් කළ නොහැකි බවයි.

අනාගත සැලසුම් සඳහා AI

2008 දී මොරටුව විශ්වවිද්‍යාලයෙහි පරිගණකමය ගණිත අංශය විසින් ආරම්භ කළ AI පශ්චාත් උපාධිය (MSc in Artificial Intelligence) රටට අවශ්‍ය AI උගතුන් බිහි කරන මූල ප්‍රභවය බවට පත්විය. AI උගතුන් සඳහා ඇති විශාල ඉල්ලුම හඳුනාගත් මොරටුව විශ්වවිද්‍යාලය විසින් AI පිළිබඳ BSc ගෞරව උපාධි පාඨමාලවක් ළඟදීම ඉදිරිපත් කිරීමට සැලසුම් කරමින් සිටියි. මොරටුව විශ්ව විද්‍යාලය විසින් සැලසුම් කරමින් පවතින බුද්ධිමය යාන්ත්‍ර විද්‍යාව පිළිබඳ BSc ගෞරව උපාධිය හඳුන්වා දීම කාලීන අවශ්‍යතාවට අස්වැසිල්ලක් වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. රාජ්‍ය මට්ටමින් අවධානයට ලක් විය යුතු AI පිළිබඳ ජාතික සැලසුමක අවශ්‍යතාව ද මෙහිදී නැවත සිහිපත් කරමි.

Artificial Intelligence ක්ෂේත්‍රෙයහි උපත 1956 වසර දක්වා දිව යයි. එතැන් සිට වසර 40 ක් පමණ ගත වන තුරු මේ ගැන ශ්‍රී ලාංකික පරිගණක උපාධි පාඨමාලාවලට ප්‍රමාණවත් ලෙස ඇතුළත් වුණේ නැත. එකල සමහරු ෟෂ දුටුවේ සිහිනයක් ලෙසින්ය.

මේ අතර, 1998 දී මා ඇතුළු තවත් ආචාර්යවරු පස් දෙනෙකු මැදිහත් වීමෙන් ශ්‍රී ලංකා බුද්ධිමය යාන්ත්‍ර විද්‍යා සංගමය (Sri Lanka Association for Artificial Intelligence)පිහිටුවන ලදී. SLAAI යන කෙටි නමින් හඳුන්වන මෙම සංගමය මගින් AI අධ්‍යාපනය, AI පර්යේෂණ හා AIප්‍රචලිත කිරීම පසුගිය වසර 20 පුරා සිදු කරන ලදී.

අන්තර් ජාතික මට්ටමෙහි සම්මන්ත්‍රනයක් වසරක් පාසා පවත්වා පර්යේෂණ ලිපි පළ කරන තත්ත්වයට දැන් වර්ධනය වී තිබේ. අද පවතින මට්ටමට ශ්‍රී ලංකාව තුල AI ස්ථාපනය කිරීම සඳහා SLAAI විසින් නිහඬ සේවයක් සිදු කර තිබේ.

ආචාර්ය අශෝක එස්. කරුණානන්ද

උපුටා ගැනීම සිළුමිණ